බටදොඹ ලෙන පිහිටා තියෙන්නෙ රත්නපුර කිට්ටුව කුරැවිට කියන ප්රදේශයේ. එය වඩාත් ප්රසිද්ධ වෙලා තියෙන්නෙ වසර දහස් ගණනකට කලින් ආදි මානවයන් වාසය කරපු තැනක් හැටියටයි. පොත පතින් කියවලා තිබුණත් දැකල නැති හින්ද බටදොඹ ලෙන බලන්න ගියා.කුරැවිටින් බැහැලා සිරිපාද පාරේ (එරත්න පාරෙ) කිලොමීටර් පහක් විතර දුර යන්න ඕනේ. පයින් යන්න බැරි දුරක් කියලා දැන ගන්න ලැබුණේඅක්කා කෙනෙකුගෙන් පාර ඇහුවමයි. ඒ පාරෙ යන එකම බස් එකත් මම න කොට පිටත් වෙලා ගිහින්.
ළග කඩේකින් ගත්තු බිස්කට් පැකට් එකත් සාක්කුවේ ඔබා ගෙන පයින්ම ගමනට පිටත් වුණා। කීප දෙනෙකුගෙන් පාර අහමින් කිලෝමීටර් දෙකක් විතර පයින් ගියා. ඊට පස්සේ අතුරැ පාරකින් හැරිලා තවත් කිලොමීටර් තුනක් දුර. බස් එක්ක පේන මානෙකවත් නැහැ. ඉතුරැ ටිකත් පයින්ම ඇද්දා. ඒ අතුරැ පාර කෙලින්ම කන්දක්. තැන තැන තිබුණු ලස්සන දේවල් වලින් ටිකක් තමයි මේ.
මේ දිය ඇල්ලට ගොඩක්ම මගෙ හිත ඇදිල ගියා. පිහිටලා තියෙන්නෙ පාර අයිනෙමයි. මෙතන ටිකක් වෙලා මහන්සි ඇරලා එහෙම ගමනෙ ඉතුරැ ටිකත් පටන් ගත්තා.එතන ඉදන් ලෙනට යන පාරට කිබුණෙ කෙටි දුරක්. එතන තිබුණු බෝඩ් ලෑල්ලේ ලෙනට යන පාර කියලා සටහන් වෙලා තිබුණට බැලු බැල්මට එහෙම පාරක් නම් තිබුණෙ නැහැ. කන්දෙ පහළ වැවිලා තිබුණු තේ වගාව අතරින් පාරක් පාදා ගෙන ඉහළට යන්න තිබුණෙ. හරිම දුෂ්කර ගමනක්. ගල් මුල් වලට බර දීදී කන්ද නැග්ගා. ඒ මදිවට කූඩැල්ලො පණුවො වගෙ එල්ලෙනව.
තේ වගාව පහු කළාට පස්සෙ හමුවුණේ රබර් වගාවක්. එතනින් කන්දෙ හරස් අතට වැටී තිබුණු අඩි පාර ඔස්සේම ගියා . යනව යනව ඉවරයක් නැහැ ගිහින් ගිහින් රබර් වගාව ඉවරවෙන තැනටත් ආවා. දැන් යන්න පාරකුත් නැහැ. යන පැත්ත අහගන්න කෙනෙකුත් නැහැ.(ඇත්තම කියනව නම් ටිකක් විතර බයත් හිතුණ.) තනිවම ආපු ඒකේ මෝඩකම තමයි මේ මම මටම කියා ගත්තා.
ගමන අතහැරලා ආපහු පහළට බහින්න හදන කොට කිරි කපන්න ආව අම්ම කෙනෙකුගෙන් පාර අහගෙන තමයි හරි පාරට වැටුණෙ.

ලෙනට යන පාර වැටිලා තබුණෙ ගන කැලෑවක් මැද්දෙන්। අවුරැදු දහස් ගණනක් තිස්සේ කන්දෙ ඉහළ ඉදන් එන් දිය සීරාව පහළට බහින පාරක් ඔස්සෙ තමයි යන්න තිබුණෙ. ඊට පහළින් බෑවුමෙන් විශාල දිය සීරාවක් ගලා බහිනව. වටෙනුත් කුඩා කුඩා දිය පාරවල් ඒ බෑවුමට ගලා බහිනව. දෙපසින් උස් තුරැ මුදුන්. වටේටම මැවිල තිබුණේ ලස්සන දර්ශන පෙලක්.
ටික දුරක් යන විට අමුත්තෙක් හමුවුණා। කළු පැහැති මිරිදිය කකුළුවෙක්। කතුරැ අඩු දෙකත් උස්සාගෙන බලන් ඉන්නව. තවත් තැනක ලොකු ගල් බිත්තියක් අද්දරින් පාර වැටිල තිබුණ . දිය සෙවෙළින් වැහුණු ගලට ඉර එළිය වැටෙන කොට අමුතු ම ලස්සනක් පෙණුනෙ.
මග හරහා වැටිලා තිබුණු ගස් උඩින් පැනගෙන කිලෝමීටර් තුන් කාලක් විතර අවට සිරි නරඹමින් ඉදිරියට ඇදෙන කොට එක වරම කැලය අවසන් වුණා। නැවතත් කුඩා රබර් වගාවක්। ඊට එහායින් මගෙ ගමනාන්තය බොහොම පැහැදිලිව දකින්නට තිබුණ.විශාල ගල් පර්වතයක බෑවුමක්। ගල් බෑවුම ඉහළින් ජල දහරා දෙකක් කඩා හැලෙනව। මේ තමයි මම ඉහතදි සදහන් කළ බෑවුමේ ජල පහරෙ ආරම්භය. ඉන් දකුණු පැත්තෙන් වැටෙන ජල දහරාවට යටින් තමයි ගුහාව පිහිටා තිබුණෙ.
ඒ ජල පහර පොළොවට වැටෙන තැනට ටිකක් නුදුරින් තිබුණු ගල් පොත්තක ටිකක් වාඩි වුණා। ජල පහරෙන් එන හීනි පොද මගෙ ඇගටත් වදිනව. එතනම ඉදගෙන දවල් ආහාරයත් (බිස්කට්) ගත්ත.පහළින් තිබෙන නිම්නය බොහොම අපූරැවට මෙතනට පෙනෙනව. අවුරැදු දහස් ගාණකට කලින් ආදි මානවයන් හිටපු කාලයෙත් මෙතන මේ විදිහටම තිබෙන්න ඇති.වාසස්ථානයට ඔවුන් තෝරාගෙන තියෙන්නෙ උචිතම තැනක්। තෙමීම නොතකා මම වතුර පහර තුළින්ම ගුහාවට ඇතුළු වුණා। විශාල ගුහාවක්. මීටර් 20-30 ක් පමණ ඇතුළට ගුහාව විහිදිලා තිබුණා. ගුහාව මැද කැණීම් කරපු වළක්. ස්ථර 5 ක පමණ කැණීම් අඩි 20 ක් පමණ ගැඹුරට යන තුරැ කරපු බව පෙනනව. ඊට වම් පසින් සොයාගත්තු අවශේෂ තැන්පත් කරලා තියෙනවා .

කෙනෙකුට බැලු බැල්මට ගල් ගොඩක් වගේ පෙණුනත් අපිට මේ දේවල් මුතුමැණික් වලටත් වඩා වටිනව මතක හැටියට මෙතන මුලින්ම විධිමත් කැණීමකට ලක්කලේ ශිරාන් දැරණියගල මහතායි। පසුව විවිධ කණ්ඩායම් වරින් වර කැණීම් කර තිබෙනව। පොඩි සෝදිසියකින් පසුව ආදි මානවයන්ගෙ ආහාර අවශේෂ කීපයක් හොයා ගන්නටත් අවස්ථාව ලැබුණ.
මේ බෙල්ලන් බහුලව ඔවුන් ආහාරයට ගෙන තිබෙනව. බෙල්ලව ආහාරයට ගන්නෙ කටුවේ එක් පැත්තක් සියුම් ගල් ආයුධයකින් සිදුරැ කිරීමෙන්. හදුනා ගත නොහැකි සත්ව ඇට කැබැල්ලකුත් මට මෙහිදී දැක ගන්න ලැබුණා. තලගොයෙක් මීයෙක් හෝ වෙනත් එවැනි කුඩා සතෙකුගේ විය හැකි මේ ඇට කැබැල්ලත් ඒ කාලයේ මානවයන්ගේ ආහාර චර්යා රටාව හදාරන්න හොද මූලාශ්රයක්.ගුහාවෙන් වම් පසට වෙන්න තිබුණේ මීට අවුරැදු පනහකට හැටකට පමණ කලින් ඉදි කරපු කුඩා සංඝාවාසයක නටඹුන්। විනාශ වුණු කුඩා බුදු රැවක් සහිත දිරා ගිය බුදු ගෙයකුත් මැටි වලින් තැනු ආසන සහිත කුඩා ආවාසයකුත් දකින්නට තිබුණ। කලක් මෙහි වැඩ හිටි භික්ෂූන් වහන්සේලා මෙහි දුෂ්කර බව නිසාම වාසය කිරීම අත හැර දමන්නට ඇති. ඒ ඉදිරියේ වැවී තිබුණු කෙසෙල් පදුරත් ලෙන ඉදිරියේ තිබුණු
අඹ ගසත් උන් වහන්සේලා සිටින කාලයේ පැළ කරන්නට ඇති බව හිතන්න පුලුවන්।ඊට එහායින් ඇත්තේ ඒ ගල් පර්වතයේ තවත් උස් බෑවුමක්. එතනිනුත් දිය පහරක් පහළට ගලා හැලෙනව.
පැයකටත් වැඩි කාලයක් මෙතන ගත කළා। හරිම අපූරැ තැනක්। පුළුවන් විදිහට හැම කෝණයනික්ම ජායාරෑපගන්නත් අමතක කළේ නැහැ। (Panorama තාක්ෂණයට පින් සිද්ද වෙන්න විශාල කෝණ වලින් හොද ජායාරෑප ටිකක් ගන්න පුළුවන් වුණා।)
පහළට බැහැලා ආපහු කුරැවිට නගරයටම පයින් ගිය ගමන ගැනත් අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැ මම හිතන්නෙ। උඩට කිලෝමීටර් පහයි. ආපසු ඒමට කිලෝමීටර් පහයි. මුළු දුර කිලෝමීටර් දහයම පාද යාත්රා කළා. ගෙදර ඇවිල්ලා පඩිපෙළ නැගගන්න බැරැව හිටිය එක සහ කූඩැල්ලෙක් කලිසම ඇතුළෙ හිටපු එක වෙනම බ්ලොග් එකක ලියන්න වටින දෙයක්.
5 comments:
පින්තූර හරිම ලස්සනයි. විස්තර තාම කියෙව්වෙ නැහැ. මෙහෙම පළ කළහම අපටත් යන්න ආස හිතෙනවා වගේම යන්න කලින් විස්තර දැනගන්න පුලුවන් වෙනවා. ඒ නිසා ස්තූතියි...
අපුරුයි! හරිලස්සනයි..
දිගටම ලියන්න.
ඔබට වෙලාවක් ඇත්නම් මෙම තොරතුරු සිංහල විකිපිඩීයාවට දාන්න.
http://si.wikipedia.org/
ඉතාමත් ම තුති ඔබේ මෙවැනි සටහන් වලට.. මේ අපේ රටයි කියල ආඩම්බර හිතෙනවා.
පොඩි අදහසක් කියන්නද: නරකද Google Earth එකේ ඔබ විස්තර කරන තැන් බලා, එහි KML ගොනු මෙහි Upload කලොත්. එවිට අපිටත් Google Earth මගින් මේ ස්ථාන ගැන අවබොධයක් ගන්න පුලුවන්.
අපූරුයි. ඔබේ හැකියාවන් අගයකලයුතුයි.
ඒවගෙම මගෙ අදහසකුත් කියන්නම්.
මෙවගෙ තැන් අප්‍රසිද්ධියෙ තියෙන එක හොදයි කියෙල හිතෙනව. මොකද බොහෝම ප්‍රසිද්ධ තැන් වලට ගියාම දකින්න ලැබෙන්නෙ ගල්වල ගස්වල නම් සහ ලිපිනයන් ලියල. වටාපිටාවෙ කුණුකසල පුරවල විනාශකරල. මේ වගෙ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන තැන් වලට විනෝදකාමීන්ගෙ යැම සීමා කරන්න ඔනෙ. මුරකාරයො / ආරක්ෂකයො දාල සුරකින්න ඔනෙ. නැත්නම් තව කාටවත් ඉදිරියෙදි පර්යේෂණ ගවේෂන කරන්න ලැබෙන්නෙ නැහැ මේ ස්ථානයෙ.
මම හිතනවා දැනටනම් කූඩැල්ලො තරමක් දුරට ඒ ආරක්ෂාව සපයනව කියල.
සු෴ වෙත :
බොහොම ස්තූති ඔබටත්.ඉතිරි විස්ත‍්රත් කියවා බලන්න.
ඩනිෂ්ක වෙත :
ඔබටත් ස්තුති.තවත් ලිපි පෙලක් එකතු වුනාට පසුව විකිපීඩියාවට එකතු කරමු.
චන්දිම වෙත:
ඈත්තෙන්ම ඔව්.අපි අපෙ රට ගෑන ආඩම්බර වෙන්න ඕනේ.google අදහසට බොහොම ස්තුති. ඔන්න අදාල සිතියම ලිපියට එකතු කළා.
Ari වෙත:
ස්තුති ආරි ඔබටත්. අනිවාර්යෙන්ම ඔබ කියන කතාවෙත් ඈත්තක් තිබෙනවා.නමුත් දෑන් ඒ විනොදකාමී සන්ස්කෘතියෙන් අද තරුණ පරපුර ඈත් වෙලා ගවේශනශීලී සන්ස්කෘතියකට හුරු වෙන ලකුනු තියෙනව නේද? එතකොට ඒ කියන විනාශකාරි පුරුදුත් සමාජයෙන් ඈත් වෙල යය් කියල මට නම් හිතෙනවා.
ඈත්තෙන්ම කූඩෑල්ලො ඉතාම අපූරුවට ඒ ආරක්ශාව සපයනව ආරි.:lol:
Post a Comment